කලා වැව අලින්ට සුදුසු බිමක් කිරීමට වැඩසටහනක්

2025 අගෝස්තු 31කියවීම මිනිත්තු 2 යි
කලා වැව අලින්ට සුදුසු බිමක් කිරීමට වැඩසටහනක්

සැප්: 5,6,7 දිනයන්හිදී කලාවැව් පිටියේදී

කලා වැව ජාතික උද්‍යානය තුල තෘණ භුමි ප්‍රතිස්ථාපන වැඩසටහන

අරමුණු:

*ආහාර අවශ්‍යතාව නිසා ගම්වදින අලින්ට කලාවැව් පිටියේ ආහාරවලින් සමන්විත කර අලි ගම්වැදීම අවම කිරීම.

*කලාවැව ප්‍රදේශයේ සිට ආහාර අවශ්‍යතාව සඳහා ගල්ගමුව ප්‍රදේශයට පැමිණි අලි රංචු ආහාරවලින් කලාවැව පෝෂණය කිරීම මඟින් නැවත කලාවැව ප්‍රදේශයට සංක්‍රමණය කරවීම.

*ගම්වැදීමෙන් අනතුරුවලට පත්වන හා මිය යන අලි ඇතුන් ප්‍රමාණය අවම කිරීම හා විදේශ විනිමය රටට ගෙන එන කලාවැව සුරක්ෂිත කිරීම.

කාලයක් තිස්සේ රජරට අලි ඇතුන්ගේ රජදහනක්ව පැවති කලා වැව ආශ්‍රිත පරිසර පද්ධතිය පසුගිය දශකයේ සිට පමණ දැඩි පාරිසරික තර්ජන වලට ලක්විය. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ තර්ජන මෙන්ම ස්වභාවික හේතු නිසා ඇතිවූ තර්ජනද ඒ අතර වේ. කලා වැව පරිසර පද්ධතිය තුල ව්‍යාප්ත වූ ජපන් ජබර ශාකයද මේ අතර ප්‍රධාන තැනක් ගනී. මේ හේතුවෙන් වියළි කාලය තුල කලා වැව පරිසර පද්ධතිය තුල තෘණ භුමි ඇතිවීමට දැඩි බලපෑමක් ඇතිවූ අතර කලා වැව නිජ භුමිය කරගත් සහ කලා වැව උද්‍යානයට සංක්‍රමණය වන සිය ගණනක් අලි ඇතුන්ට උරුමව තිබු ප්‍රධානතම ආහාර ප්‍රභවය අහිමි වීමේ හේතුව නිසා වන අලි කණ්ඩායම් වශයෙන් ගම් වැදීම ආරම්භ වූ අතර මේ වන විට මෙම අලි-මිනිස් ගැටුම උච්චතම අවස්ථාවට පත්ව ඇත්තේ කළා වැව ආශ්‍රිතව ජිවත් වූ සියලුම සද්ධන්ත දළ ඇතුන් පාහේ අපට අහිමි කරමිනි.



නැවතත් කලා වැව් පිටිය තුල වළගම්බා, රේවත , බරණ , දීඝ 1, දීඝ 2 සහ නීල වැනි සන්ධන්ත දළ ඇතුන් සහිත සිය ගණනක් අලි ඇතුන් ගෙන් සැදුම් වන අලි රංචු අපගේ මතු පරම්පරාවට දැක බල ගැනීමේ අවස්ථාව උදාකරදෙනු පිණිස මෙම ආක්‍රමණශීලි ශාකය කලා වැව පරිසර පද්ධතියෙන් මුළුමනින්ම ඉවත් කිරීම සදහා ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. මේ සදහා සිවිල් සංවිධාන මෙන්ම වගකියයුතු සියලුම රාජ්‍ය ආයතන වල අවසරය, අනුබලය සහ සහයෝගය දැනටමත් ලැබී ඇත.



මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 5,6, සහ 7 දිනයන්හිදී සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එය පහත ආයතන හා සංවිධාන වල සෘජු මැදිහත් වීමෙන් සිදු කිරීමට සැලසුම් කොට ඇත.



· Clean Sri Lanka කාර්යාලය

· වන ජීවි සංරක්ෂණ දෙපාර්ත මේන්තුව

· මහවැලි අධිකාරිය

· ත්‍රිවිධ හමුදාව

· Wild Tuskers Sri Lanka

· ප්‍රාදේශීය පළාත් පාලන ආයතන



මෙහිදී ප්‍රධාන කොටම ජපන් ජබර ශාක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කොන්දේසි වලට අදාලව කිසිදු යන්ත්‍රයක් භාවිතා නොකර මිනිස් ශ්‍රමය පමණක් භාවිතා කොට පරිසර පද්ධතියට අවම හානියක් වන පරිදි මුළුමනින්ම මේ පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමට සැලසුම්කර ඇත.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...